Saturday, January 20, 2018

:: තිත්ත තොල් : Chinthana Dharmadasa ::

කෙටි නවකථා තුනකි. 
Bitter Lips හා Coffee with Ice Cream කථා දෙකම එකම ආකාරයේ කථා ය. එකක ප්‍රධාන කාන්තා චරිතය වෙනත් නමකින් වෙනත් පරිසරයක වෙනත් පිරිසක් හා තබා ගෙතුවාක් මෙනි.
After Eleven Minutes හිදී කාන්තා චරිතය වෙනත් ගති ලක්ෂණ පෙන්නුම් කලත් ඉඳහිට මුල් කථා වල එන ආකාරයේ ගැහැණියක් ඉන්දු ගේ හැසිරීම තුල පෙනී නොපෙනී යයි.
චින්තන මේ මවා පෙන්නන ගැහැණිය වැඩිමනත්ම ඇත්තේ පිරිමි අපේ සිත්තුල යයි සිතමි. දැන් දැන් තම රූපයෙන් පමණක් පවත්වා ගත් වසඟය මඳව යන හෙයින් පරිනාමීයව පිරිමියාගේ මනස් දුව වීමට අවශ්‍ය ආකාරයේ හැසිරීම් ඇති ගැහැනුන් ද බිහිවෙමින් පවතින වකවානුවක චින්තන තම කතා තුලින් පවසන්නේ එවැනි ගැහැණුන් පිරිමින් හා කරන ගණුදෙනුව යි.
මෙවැනිම ගැහැණියක් වෙඩිවර්ධනගේ 'යක්ෂණි' ය තුලද සිටියා ය.
නමුත් වෙඩ්ඩා ගේ යක්ෂණිය පිරිමින්ට ආදරය කරද්දී චින්තනගේ 'මායාකාරියන්' පිරිමින්ව සීනි බෝල ගෙදරදී තඩි බඳුනක දමා තම්බයි. අවසන සැම පිරිමියාම යටි හිතෙන් පතන පරිදි කෙටි කාලීන සම්බන්ධයකින් පසු වන්දි නැතිවම හැර දමා යයි. ( මෙය ගැහැණුන් ගේ පැත්තෙන් පෙනෙන්නේ කෙසේ ද යන්න නොදනිමි).
පොත පුරා කතුවරයාගේ ඇඩ්වර්ටයිසින් අත්දැකීම් ද හැකියාව ද පොලා පනි යි. නමුත් ඔහු නිල් චිත්‍රපටයක කථා පිටපතක් වෙනුවට ලිංගිකත්වය හා බැඳුනු මිනිස් සම්බන්ධතා ගෙන හැර පායි.
පොත කියවද් දී මට නැඟුනු ප්‍රධාන ප්‍රශ්න වලින් එකක් නම් ' ලංකාවේ BDSM මෙච්චරම ප්‍රචලිත ද ? ' යන්න යි.
ප.ලි :
01. පොතට ප්‍රධාන අසාධාරණය කලේ කතුවරයා, ප්‍රකාශකයා හා රිවීවර්ස් ලා ය. ඒ මෙ පොත 'වල්' පොතක් හා 'ප්‍රබුද්ධ නොවන' පොතක් ලෙස කල ප්‍රචාරණය යි. මේ පොතෙහි ලිංගික සම්බන්ධතා කිහිපයක්ම ඇතුලත් වුව ද, එය රසවිඳිමින් අතක් දෙපා අතර රඳවා ගනිමින් කිවයුතු ආකාරයේ 'වැල' කථාවක් නොවේ.
02. මේ පොත කියවූ පාඨකයන්ට ' අපේ කාලයේ වීරයෙක්' හා 'ජමීලා' කියවන්න යැයි යෝජනා කරමි.

:: කවුළු ඇස පාමුල - ළහිරු කිතලගම ::

බොහෝ කලකට පසු කාලයක් ගෙන කවි පොතක් කියවීමි.
මේ පොතෙහි ඇති කවි තිස්පහ එක හුස්මට කියවිය නොහැක. ඒ කවි එකකට එකක් වෙනස් ය. අනුභූතීන් ලඟින් යනවිට ආකෘතීන් විරසක වී ඇත. එකම ආකෘතියේ කවි දෙකක අනුභූතීන් පරස්පර ය. එහෙයින්ම මේ කවි එකකට එකක් හුදකලා ඒවා ය. වෙන වෙනම රසවිඳීමට බලකරන කවි ය.
මේ පොත පුරාවට ළහිරු තමන්ගේ කවි යැයි වෙනම කවි ආරක් ගොඩ නැඟීමට උත්සාහ නොදර යි. ඒ වෙනුවට තම හැඟීම විවිධ ආකෘතීන් ඔස්සේ ගලා යෑමට ඉඩ හරියි. ඒ නිසාම 'කවුළු ඇස පාමුල' කියවීම අහසක් දෙස බලා සිටිනවාක් මෙන් සංවේදනා උපදවයි. දිය ඇල්ලක් දෙස බලා සිටින්නාක් මෙන් ආශ්වාදය උපදව යි.
ඒ කවි කියවන විටෙක සේකර ව සිහිවෙයි. තවත් විටෙක කුමාරගම සිහිවෙයි. බන්දුජීව ද වෙඩිවර්ධන ද සිහිවෙයි. නමුත් ඒ තුලම Lahiru Kithalagama තම සෙවනැල්ල ද පතුරයි. තනිවූ කම්කරු ගැහැණියකගේ සිට සිය හදිසිකාර පෙම්වතාගේ දුරකතන ශෘංගාරයෙන් සැලී යන පෙම්වතියක දකවාත් මිදුනු හදකට සම කෙරුණු කළු ගලක සිට මිනිසුන්ගේ දුකට නායගිය ගිරිහිසක් දක්වාත් වූ මහා පරාසයක අනුභූතීන් විහිදුවමින්.
තමා ධාරණා කොටගත් සියළු කවි කම් පත අට එකට පෙරා ගෙනෙන ගමන්ම ඇතැම් තැනකදී අත්හදා බැලීම් කරන්නට ද ළහිරු අමතක නොකර යි. ඇතැම් තැනක දී අසාර්ථක වුව ද දහඅටවන කවියේ දී මෙන් අපව උස්සා පොළොවේ ගසන්නට ද ඒ අත්හදා බැලීම් වලට හැකි වෙයි.
“ ඉංග්‍රීසි මඟුලවල් මට නොඑවන්න
තේරෙන සිංහලෙන් කියන්න”
අවසානයට සැර කලේ මං මෙහෙම
“සිංහලෙන් එව්වම වේදනාව වැඩියි නේ”
ඇය ලියා තිබුණා එහෙම
කවුළු ඇස පාමුල. පොතෙහි ඇති අනෙක් කවි හා සසඳද්දී කුරුව යන කවි තුන හතරකින් යුතු වුවද අදහාගත නොහෙන තරම් වපසරියක ජීවිතය. මනුස්සකම් හා මනුස්ස සම්බන්ධකම් අනුභූතිකොටගෙන බසෙහි බොහෝ රසතැන් හකුළුවාගෙන විවිධාංගීකරණය වූ ආකෘතීන්ගෙන් ඉදිරිපත්ව ඇති කවි පොතකි.
එහෙයින් ම ඔබට ඉවසිල්ල මඳ නම් මඟ හැරී යා හැකි සිතිවිලි කැටයම් රැසකි.
කවුළු ඇස පාමුල - ළහිරු කිතලගම - සන්ථව ප්‍රකාශන

:: 4 වන ජයසිංහ | සමිත බී අටුවබැන්දෑල ::

සමිත බණ්ඩාර අටුවබැන්දෑල බොහෝ දෙනෙකු දන්නේ කවියෙකු ලෙසිනි.
සමිත කවි වලට අමතරව කෙටි කතා ද ලීවේ ය. මේ තරම් කවියට හා කෙටිකතාවට හිමිකරුවන් නොසිටි අතීතයේ. මීට හත්වසකට පමණ පෙර. වත්පොතෙහි.
පසුව ඔහු සුලභව දැකීම දුලබ කාරණයක් විය. වත්පොතෙහි ම.
ඒ Samitha දැන් කෙටිකතා දහයක් රැගෙන පැමිණ ඇත. පිටු හැටතුනක ලියැවුණ. 4 වන ජයසිංහ නමින්.
4 වන ජයසිංහට ඇතුලත් කෙටි කතා බොහෙමයක් කතාන්තර නොවන්නේ ය. එක් සිද්ධියක් හෝ එක ලඟ වූ සිද්ධි කිහිපයක සමීප රූපයක් වන්නේ ය.
ඔහු සමීප රූපය දක්වන්නේ අවර්ණ කාචයකිනි. කුඩා ප්‍රිස්ම එක්වී තැණුනු.
ඒ ප්‍රිස්ම කුඩා නමුත් ප්‍රබල රූපක ලෙස පිටු පුරා දේදුණු මවයි. ඒ සිද්ධිවලට මුහුණදෙන මිනිසුන්ගේ ජීවිත විභේදනය කරමින්.
මා මේ පොතට කැමති ඒ නිසා ය. ඒ කෙටි කතා වලට ආශක්ත වන්නේ ඒ නිසා ය. ඒ රූපක වලට අප කැමති අර්ථ දෙමින් යළි යළිත් ජීවිතය විඳිත හැකි නිසා ය.
නොකියවූ ඇත්තෙක් වෙත්නම් උනන්දුව වඩනු වස් උපුටාගැනීම් කිහිපයක් පහත දක්වමි.
'එක දවසක් උදේ පාන්දරම මම වමනේ කළා. ගේ ඉස්සරහා හිටගෙන උන්නු රෝස ගහ මගේ වමනේ වලින් හොඳටම නෑවුණා. මල් පෙති වලින් වමනේ බේරුණා'
' රෑ තිස්සෙම ලුණු වතුර නාලා, මහ මුහුදෙන් ගොඩට ආපු ඉර, නැගෙනහිර අහසට වෙලා නැගෙනහිර අහසට වෙලා වළාකුළු තුවායෙන් මුහුණ පිහාගන්නවා.
ඒ ඉර බටහිර අහසින් මතු වුණත් අපේ සම්බන්ධෙට අපේ ගෙදරින් කැමතිවෙන්නෙ නෑ මහතුන්'
' පොල්ගෙඩි අකුරු ඇස් ලොකු කරගෙන උන්නා. ඇස් පිල්ලම් නොගහාම. හරියට චන්ද ප්‍රතිපල කියන්ට යද්දි වගේ'
' අඳුරන් නැති රටක අඳුරන් නැති මිනිස්සු පොදියක් එක්ක අඳුරන් නැති පාටක් එක්ක අඳුරන් නැති ඉරක් එක්ක අඳුරන් නැති හඳක් යට අඳුරන් නැති ගෙයක් ඇතුලෙ අඳුරන් නැති බඩුත් එක්ක ඉන්න ගියාම ....'
මේ කෙටිකතා දහයම අඩු වැඩි වශයෙන් ඛේදය ශෝකය ගැබ්කොටගත් ඒවා ය. ඒ දිවියේ ඛේදය ය. පැවැත්මේ ශෝකය ය.
එහෙත් සමිත ඒ ශෝකය ඕලාරිකව වැලපුමක් කොට පාඨකයා ගේ හැඟීම් පෙලන්නේ නැත. ඒ වෙනුවට ඒ ශෝකය වචන හා රූපක වදුලක මංමුලාකොට දමයි. විටෙක හාසය ද මුහුකරයි.
පාඨකයාට සිය භාෂාමය විජ්ජාව රස විඳීමට සලසයි. කැමැත්තෙක් ඇත්නම් මංමුලාවෙන් මිදී තමාවම සොයන්නට ඉඩ හසර පාද යි.
පොතක් භාෂාමය මෙවලමක් ලෙස කියවන්නට කැමති අයට. කියවා පරිකල්පනය වෙහෙසවීමෙන් ලැබෙන ආනන්දය විඳිනු රිසි අයට හා රූපක යෙදීම තුලින් කථා රසය වඩවන්නේ කෙසේ දැයි යන්න දැනගනු රිසි අයට කියවන්නැයි නිර්දේශ කරමි.
4 වන ජයසිංහ | සමිත බී අටුවබැන්දෑල | කවිවර ප්‍රකාශන

:: අර්ධ නාරී - කේ කේ සමන් කුමාර ::

Androgynous Literary Experience in Sinhala Novel.
First Sri Lankan Chinese boxes total novel.
මේ පොතෙහි අග කවරයේ පොත ගැන සටහන්ව තිබූවකි.
Androgynous යන්න ශබ්දකෝෂයන්හි අර්ථදැක්වෙන්නේ “ partly male and partly female in appearance; of indeterminate sex.” ලෙසය. සුචරිත ගම්ලත් මහතා සිය ශබ්දකෝශයේදී ඒ සඳහා දෙන සිංහල අරුත වන්නේ ' ද්විලිංගික ' ලෙස යි.
නමුත් මේ කතා ගොඩකින් ගොඩනැඟුනු කතාවෙහි කතුවරයා එහි එක් ප්‍රධාන චරිතයක් 'සංක්‍රාන්ති ලිංගිකාවියක්' ලෙස මුලදීම හඳුන්වා දීම මඟින් කතාව හා ද්විලිංගිකත්වය අතර සරල සමීකරණයක් ගොඩනංවාගැනීමට ඉඩක් නොදෙයි.
Chinese Boxes යනු එකක් තුල එකක් ගබඩා කල හැකිවනසේ සැකසූ පෙට්ටි කිහිපයකි. අන්තර්ජාලය අනුව මෙම සංකල්පය සාහිත්‍යය හා සමපාත වන්නේ සරලව 'කතා මැද කතා' ආකාරයේ ආකෘතියක් සමඟය. පහසුම උදාහරණ වන්නේ අරාබි නිසොල්ලාසය හා පංච තන්‍ත්‍රය යි. ඒ අනුව උම්මග්ගය ද මේ ගණයට වැටෙනු ඇතැයි සිතමි. ( උනන්දුවක් දක්වන අයෙකුට මේ පත්‍රිකාව හොඳ විය හැක. මා ද තවමත් කියෙව්වේ මුල පිටු තුන පමණි. Paradox of Chinese Boxes: Textual Heterarchy in Postermodern Fiction - BENZI ZHANGhttps://journals.library.ualberta.ca/…/artic…/view/3165/2526).
මේ කෘතීන් තුල කතා මැඳ කතා ලියැවෙන්නේ ආඛ්‍යානය තුලම වුව ද 'අර්ධ නාරී' තුල දී කතුවරයා සිය පරිකථා සඳහා කඩදාසිය තුලම සීමා සලකුණු කරයි. එකක් හතරැස් කොටු තුල ය. අනෙක පිටුවෙහි උඩ අර්ධයේ ය. තවෙකක් යට අර්ධයේ ය. අළු පැහැති පිටු තුල ය. කළු පැහැති පිටු තුල ය. තද කළු අකුරෙනි. සුදුවට ය.
මේ ආකෘතිකමය හරඹය නිසා මුලින්ම අපහසුවට පත් වුවත් මීට පෙර මෙම කතුවරයාම ඔහුගේ ඇතැම් කෙටිකතා තුලත් Manjula Wediwardena 'මගේ ආදරණීය යක්ෂණී' තුලත් මේ හා සමාන 'අමාරුවේ දැමීම්' කරතිබූ හෙයින්, මම එක කතාවක් කියවා අවසන අනෙක් කතාව කියවීම කළෙමි. එවිට ඔබට පිටු අංක නොසලකා හැරීමට සිදුවේ.
K.k. Saman Kumara තම බොහෝ කෘතීන්හිදී මෙන්ම මේ නවකතාව තුලත් සිය භාවයන් සංක්ෂිප්ත කොට ඔබා ඇති අතර කියවන්නෙකුට රිසි පරිදි එම ගැට ලිහාගෙන එහි ප්‍රහර්ශය විඳිය හැක. 'මහිලා වංශයේ' දී මෙන් වාක්‍ය හරඹ නොමැති හෙයින් සරල කියවීමක් රුචි අයෙකුට වුව ද තම නැණ පමණින් විඳගත හැකි කෘතියකි.
'අර්ධ නාරී' තුලදී කතුවරයා එහි ප්‍රධාන චරිත හතරම ඔවුන්ගේම මනෝභාවයන්හි, ආශාවන්හි, එසේත් නැත්නම් කතුවරයාම කියන පරිදි ක්ලේශයන්හි උපරිම අන්තයේදි හැසිරෙණ අයුරු ලියා දක්වයි. මේ චරිත හතරම Stress Test වලට භාජනය කරවයි. ( මෘදුකාංගයක් එහි සාමාන්‍ය භාවිත පිරිවිතරයන් හෝ අවස්ථාවන්ට වඩා වැඩි පිරිවිතරයන් හෝ අවස්ථාවන් තුලදී හැසිරෙන ආකාරය පරීක්ෂා කිරීම Stress Test වේ). ඒ තුලින් වඩා බියකරු ලෙස අපේම ආශාවන් තුල අපේ හැසිරීම ප්‍රශ්න කරවයි.
මෙම කෘතිය 'Androgynous' හෙවත් ද්විලිංගික නවකතාවක් වන්නේ මෙහි ප්‍රධාන චරිත හතරම විටෙන් විට දක්වන විරුද්ධ ලිංගික හැසිරීම් හෝ මනෝභාවයන් නිසා යැයි සිතමි. කතුවරයා උමයංගනා සංක්‍රාන්ති ලිංගිකාවියක් කරද්දී සවිඥානිකව හෝ අවිඥානිකව අනෙක් පිරිමින්ගේ ගැහැණු මනෝභාවයන් ද ගැහැණියගේ පිරිමි මනෝභාවයන් ද කතාව තුල උළුප්පා දක්වයි. තිරේසිස්ගේ කතාව තුලින් හා උමයංගනාගේ සැත්කමින් පසු මනෝභාවයන් විග්‍රහ කරමින් ලියවෙන කොටසින් ඒ උළුප්පා දැක්වීම වඩාත් ආලොකවත් කරව යි. කියවන සෑම ගැහැණියකුටම තමා තුල සිටින පිරිමියාත්, සෑම පිරිමියෙකුටම තමා තුල සිටින ගැහැණියත් අභිමුඛ කරවයි.
'අර්ධ නාරී' ශෘංගාරාත්මක කතාන්දරයකැයි කීවත් අන් ශෘංගාර කතාන්දර වලින් වෙනස්ව, සිරුරේ වෙනත් තැන් වෙනුවට රෝමයන් කෙළින් කරවයි.
අර්ධ නාරී - කේ කේ සමන් කුමාර - අහස පොතක්

Thursday, January 18, 2018

ආකාස හීන 02

ඊර්සියා කරන්න බැරි මිනිහෙක් ආලය කරන්නෙ කොහොම ද?”

සිය විරාගය කෘතියෙහි ලා මාර්ටින් වික්‍රමසිංහයන් මේ පැනය අසන්නේ එකදාස් නවසිය පනස් හයේ දී ය. මේනකාගේ මුවින්. අරවින්ද විසින් ප්‍රතික්ෂේප කරන ලද සරෝජිනී සිය සැමියා ද සමඟ නිවසට ආ දිනයේ දී.

කාලය සමඟම ආලය යන වදන ආදරය හෝ ප්‍රේමය යන වඩා පුළුල් අරුත් දනවන වදන් වලින් විස්ථාපනයව සමාජ භාවිතයෙන් දුරස්වෙමින් කුණුහරුපයක් වේගෙන යමින් තිබුණ ද පෙර සමයන්හි හුදෙක් ස්ත්‍රී පුරුෂ ප්‍රේමය වෙන්කොට හඳුන්වාලීම සඳහාම 'ආලය' යන වදන යෙදී තිබිණි. ආදරය ප්‍රේමය හෝ සෙනෙහස යන වදන් අපයෝජනය කෙරුමෙන් තොරව.

විරාගයෙහි ලා වික්‍රමසිංහ මේනකාගේ මුවට නංවන්නේ සැබෑවකි. ආලයෙහි විඳීම ඇත්තේ හිමිකරගැනීම තුල ය. ප්‍රහර්ශය ඇත්තේ අයිති කර ගැනීම තුල ය. මිනිස් සන්තානයෙහි ආල හැඟුම් උපද්දන්නේ ද පවත්වන්නේ ද හිමිකරගැනීම හිමිකරගත් බව අනෙකාට දැනවීම මූලික කරවමින්ම ය.

හිමිකරගනු රිසි තැනැත්තා අහිමි වීම නොරිසි වන්නේ ය. නොඉවසන්නේ ය. තමාට අහිමි වූ දෙය අනෙකකුට හිමි වෙතැයි බිය වන්නේ ය. අනෙකකුට හිමිවනු දැක ද්වේෂ උපදවාගන්නේ ය.

ඉරිසියා කරන්නේ ය.

එහෙයින් මම හිමිකරගනු රිසින් අයිතිය දරනු රිසින් කෙනෙක් හෝ යමක් කෙරෙහි ආශක්ත වීම ආලය යැයි හඳුන්වනු කැමැත්තෙමි. පුම ඉතිරි වෙනසකින් තොරව.

ආදරයෙන් වෙනස් ව.

ඒ ආලය බැනුම් බනවන්නේ ය. ගැටුම් තනවන්නේ ය. පිහි ඇනුම් අන්නවන්නේ ය. ඇසිඩ් ගස්සන්නේ ය. මිනී මරවන්නේ ය. පෙම්වතුන් අතර. අඹු සැමියන් අතර. මාපිය දූ දරුවන් අතර. සොයුරු සොයුරියන් අතර. නැන්දම්මා ලේලි අතර. මිතුරු මිතුරියන් අතර. තව බොහෝ දෙනා අතර.

එතැනින් නොනවතින්නේ ය. මගේ යන හැඟීම ද මිටින් ගෙන තව බොහෝ මිනිස් සම්බන්ධකම් අතරට පනින්නනේ ය. මනැස් අන්ධ කරවන්නේ ය. රවටන්නේ ය.

විචාරයෙන් තොර වහලුන් තනන්නේ ය. කලාවේ ද දේශපාලනයේ ද වෙනසක් නැතිවම.

සිත්තැවුල් තනන්නේ ය. දුක් දෙන්නේ ය. කළකිරවන්නේ ය.

ඒ ආලය ය. ඉරිසියා කරවන ආඩම්බර කරවන ආලය ය.


ආදරය ඉන් වෙනස් ය.

' ආදරේ යනු යන්ට දීමය
ආයේ ආවොත් ඉන්ට දීමය'
ආදරණීය රසිකා ගුණවර්ධන දෙදාස් පහළොවේ ජූනි දහ අටදා වළාකුළු අතර හිඳ සමූහයේ දී අමා ජයසිංහ සොයුරියගේ කවකට කමෙන්ටුවක් ලෙස ලියන්නී ය. සමාජජාල අතර ද පත්තර පිටු අතර ද පොත් අතර ද බොහෝ සිත් වල ද සටහන් වන්නට පෙර.

එහෙම ආදරයේ විඳීම් නැත. විඳවීම් ද නැත. නිරාමිස ය.
එහෙයින්ම දුබල ය. දුලභ ය.

නමුත් දුලභ දෙය වටින්නේ ය. ඔබව බබළවන්නේ ය.

ඒ ආදරය සමනළයාට මතු නොව සමනළයකුට රූපාන්තරණය වන දළඹුවාටත් මලට මතු නොව මලින් තැනෙනා ඵලයටත් එකසේ සම සිත පැතිරවීමට ඉඩ දෙන්නේ ය. ඔබේ සීමා බිඳ දමන්නේ ය.


ඔබෙන් ලෝකය ද ලෝකයෙන් ඔබ ද මුදවාලන්නේ ය

Friday, January 12, 2018

ආකාස හීන - 01


ඉන්දික ගුණවර්ධන මිය ගියේ ය.
ඔහු ගැන බොහෝ දේ ලියැවිණි. කියැවිණි.
ඉදිරියේ ද කියැවෙනු ඇත. ලියැවෙනු ඇත.

මේ සටහන ඔහු ගැන නොවේ. සිය මතකයන් පොත් තුලද හිත් තුලද රඳවා මැකී ගිය ඔහුගේ වියෝවෙන් දැනෙන කාංසාව හෝ පාළුව ගැන ද නොවේ.

ඉන්දික ගුණවර්ධන නමින් දැන සිටි රූපකාය කොළඹ අතහැර ගියදා ජයරත්න මල්ශාලාවේදී කෙරුණු අතුරු කතාවක දිගුවකි. ඒ ඔස්සේ නැඟුණු ගෙතුණු මතක හා අදහස් පෙල ගැසුමකි.

ජීවත් වීම ඇතුලෙ ඉතුරු වෙන්නෙ පුංචි පුංචි සතුටුදායක සැණෙළි විතරයි බං. ඒ පුංචි දේවල් මොන තරම් එකතු වෙනවද කියන එක උඩ තමයි අපි සතුටින් ජීවත් වුණා ද නැද්ද කියන එක තීරණය වෙන්නෙ”

දීර්ඝ කතාබහක් අතරතුර මේ කොටස කියන්නේ සමන් අයියා ය. කේ කේ සමන් කුමාර ය. නැතහොත් සර්පයා ය.

සමන් අයියාගේ කතාව යළි අකුණක්ව පුපුරන්නේ ඊට සති එකහමාරකට පසු දැනගත් සිය දිවි නසා ගැනීමක් ගැන පුවතකිනි. සිය කැමැත්තෙන් දිවිය අතහැර ගොස් තිබුණේ භද්‍ර යෞවනයෙකි. ජීවිතය තව බොහෝ විඳීමට තිබූ අයෙකි.

ජීවිතය බොහෝ දිග විය හැකිව තිබියදී සියදිවි නසා ගන්නේ ඇයි ?
ජීවත්වීම දුකක් වූ තැන ය. බියක් වූ තැන ය. බරක් වූ තැන ය. වදයක් වූ තැන ය.
ජීවත්වීමෙහි සතුටක් නැති වූ තැන ය.

සමන් අයියා කියූ කුඩා සතුටුදායක අවස්ථාවන්, ක්ෂණිකව නිවී දැල්වුණ නිමේෂයන් වටින්නේ එහෙයිනි. ඒවා ජීවිතාශාව වඩවන නිසා ය. ආරම්මණයන් තනන නිසා ය. සිහින් කෙඳිව ජීවිතය වියන නිසා ය.

මේ පොළොවේ ගැහැනුන්ට මිනිසුන්ට හිඟව ඇත්තේ එවන් නිමේෂයන් ය. අමතකව ඇත්තේ එවන් නිමේෂයන් ය. මඟහැරී ඇත්තේ එවන් නිමේෂයන් ය.

ඒ නිමේෂයන් තනන්නේ ද වනසන්නේ ද අපම ය. මිනිසුන්ම ය. ගැහැනුන් ම ය.
ඒ නිමේෂයන් මඟ හැරෙන්නේ ද අපටම ය. මිනිසුන්ටම ය. ගැහැනුන්ටම ය.

ජීවත් වෙද්දී ය.

ජීවත්වීම යන වදනත් සමඟ එකවනම මට සිහිවන කලා නිර්මාණයන් තුනක් වෙයි.
එක. අකිර කුරසෝවාගේ 'ජීවිතය උදෙසා' ( Ikiru) චිත්‍රපටය ය.
දෙක. රොබින් විලියම්ස් රඟපෑ 'පැච් ඇඩම්ස්' .
තුන. ඇල්බෙයා කැමූ විසින් ලියූ 'මහාමාරිය' (The Plague) නවකතාව ය.

එකදාස් අටසිය අසූ අටේ දී ලියෝ තෝල්ස්තෝයි අතින් ලියැවුණු ' ඉවාන් ඉල්යිච්ගේ මරණය' කෙටි නවකතාව ආශ්‍රයෙන් එකදාස් නවසිය පනස් දෙකේ තැණුනු 'ඉකිරු' සළරුවෙහි ප්‍රධාන චරිතය වන කන්ජි වතනබේ තමාට වැළඳී ඇති උදර පිළිකාවක් හේතුකොටගෙන තමාට ජීවත් වීමට ඇත්තේ වසරකටත් වඩා අඩු කාලයකැයි දැනගත් පසු ඇතිවූ ආතතියෙන් මිදෙනු වස් බොහෝ දෑ උත්සාහකොට අවසන තම මරණයට පෙර ලොවට යමක් ඉතිරි කිරීමේ අරමුණින් නගරයේ පාලනාධිකාරිය විසින් එතෙක් කල් මඟහරිමින් තිබූ ව්‍යාපෘතියක් වන ළමා උද්‍යානයක් ගොඩ නැංවීම වෙනුවෙන් වෙහෙසෙයි. ගැටෙයි. අවසන මිය යයි. එහෙත් ඔහු තම අවසන් කාලයේ ඔහුගේම සිහිනය තුලත් සදාකල් අපේ සිත් තුලත් ජීවත් වෙයි.

එක් කැලැන්ඩර වර්ෂයක් තුල තුන්වරක්ම සියදිවි නසා ගැනීමට තැත් කල යෞවනයකුගේ සිට මානුෂිකත්වය ද සිනහව ද මිශ්‍රකොටගත් සෞඛ්‍ය ක්‍රමවේදයක් බිහිකරගත් වෛද්‍ය වෘත්තිකයකු දක්වා වෙනස් වූ දොස්තර හන්ටර් ඩොරති ඇඩම්ස් ගේ ජීවිතය ඇසුරෙන් එකදාස් නවසිය අනූ අටේ තැණුනු ' පැච් ඇඩම්ස් ' චිත්‍රපටයේ දී දොස්තර ඇඩම්ස් තමා ආදරය කල තමා විසින් සුන්දර කරන්නට යත්න දැරූ ලෝකයේම එකෙකු විසින් තමා වැඩිපුරම ආදරය කල ගැහැණිය කෲර ලෙස මරා දැමූ බව දැනගත් පසු ලෝකය ද මිනිසුන් ද තමා ද ගැන විශ්වාසය බිඳගෙන යළිත් වරක් තමා විසින්ම ලෝකය අතහැර යාමට ආසන්නව සිටියදී සමනළයෙකුගෙන් පාර අසාගෙන යළි ජීවිතය බදා වැලඳ ගනියි. විශ්වාසය ගොඩ නඟා ගනියි. තම මෙහෙය නොනවත්වා කරගෙන යයි.

ප්‍රංශ කතුවර ඇල්බෙයා කැමූ අතින් ලියැවී එකදාස් නවසිය හතලිස් හතේ දී ප්‍රකාශයට පත් කෙරුණු මහාමාරිය නවකතාවේ එන ඔරාන් නගරයේ මිනිසුන් මාරාන්තික මහාමාරිය රෝගය හේතුවෙන් ලෝකයෙන් හුදකලා කොට දමනු ලදුව හිඳිද්දී දුර්වලයන් විසින් තම ගැලවුම සඳහා මරණයේ මුවවිට හරහා හෝ පලායෑමත් අනෙකුන් මියෙද්දී තම පැවැත්ම රැකගැනීම වෙනුවෙන් සියළු සදාචාරයන් බිඳීමත් තම ආතතිය දුරුකරගැනීම උදෙසා අනෙකුන් පෙලීමත් තෝරාගනිද්දී අතලොස්සක් මිනිසුන් විසින් ජීවිතය රැකගැනීම උදෙසා හෝ ආත්මාර්ථයට ඉඩක් නොතබා මියෙන උන් සනසන්නට රෝග ව්‍යාප්තිය වළකන්නට එකෙකු හෝ බේරන්නට තමාට හැකි සෑම දෙයම කරති. ජීවිතය අරුත් ගන්වති. අවසන ඇතැමුන් මියෙති. නමුත් මහා බරක්ව අප සිත්හි කිඳා බසිති. රැඳෙති.

යලි උපුටමි.
ජීවත් වීම ඇතුලෙ ඉතුරු වෙන්නෙ පුංචි පුංචි සතුටුදායක සැණෙළි විතරයි බං. ඒ පුංචි දේවල් මොන තරම් එකතු වෙනවද කියන එක උඩ තමයි අපි සතුටින් ජීවත් වුණා ද නැද්ද කියන එක තීරණය වෙන්නෙ”

අපි සියල්ලෝම තමා ආදරය කල උන් විසින්ම රැවටීමට ලක්වුණ ලක්වීමට නියමිත ආදරණීයයන් අහිමි කෙරුණු අහිමි කිරීමට නියමිත කෙදින හෝ මරණයට පත්වන ව්‍යාධීන්ගෙන් පෙළෙන ඔරාන් නගරයක සිරගතවූවන් වන්නෙමු.

ඔබේ එහා පැත්තේ හෝ මෙහා පැත්තේ සිටින්නාගේ ජීවිතයේ මේ මොහොත මත සතුටු සැණෙළි දැල්වීමත් ජීවිතයේ අසීරුම තීරණය ගතයුතු මොහොතකදී පෙර සතුටු මතකයන් හෝ ඉදිරි සතුටුදායක මොහොතවල් කෙරෙහි වන බලාපොරොත්තුව මත තම ජීවිතය විවීමත් බාර ඔබටම ය.

දා ගිය හේන්වල වුව වැසි කල පැලවීමට තරම් බිජුවට සැමදා ඉතිරි වන්නේ ය