Sunday, December 24, 2017

CLASS M6 788

ගුරු ගීතය. ඔහු ඇයට තෑගි දුන් මුල්ම පොත විය.
ඔහු ලියූ කවි පොත් දෙකක් තෑගි දුන් පසුව.

පොත් බැඳීම. ඇගේ තුන්වෙනි රැකියාවේ එක් කාර්යයක් විය. නගරයට පාව ආ පසු ලැබුණු. උපන් තැනින් ද වැඩුණු තැනින් ද කිලෝමීටර් එකසිය අසූ නවයකට දුරින් වූ.

ඔහු. විනෝදය පිණිස කවි ලිවීය.
ලියූ කවි පොත් කළේ ය. මිතුරු මිතුරියන්ගේ ඉල්ලීමට අවනතව.

පරිගණක පිටු සැකසුම. ඇගේ අනෙක් රාජකාරිය විය. පොත් බැඳීම හා ඡායා පිටපත් ගැනීමට අමතරව.

ඔහු. මුල්ම දින ආවේ ඡායා පිටපත් ගැනීමටය. 'කෆ්කා මුහුදු වෙරළේ' නම් පොතක.
බළලා. ඇය බළලා දෙස අවධානයෙන් බැළුවේ දෙවන වර ය. කවරයෙහි සිට තමා දෙස හොරැහින් බලා සිටි.

දෙවන දින. මුල්ම දිනට දින විසි අටකට පසු ආයේ ය.
ඔහු. සිය අලුත්ම කවි පොත රැගෙන ආයේ ය.
අතින් ලියූ. පරිගණක පිටු සැකසුම උදෙසා.

අකුරු. වචන. කවි.
ඇය වචන පටලා ගත්තා ය. යතුරු පුවරුව ඔබද්දී.

ඔවුහු.
ඇස් පටලා ගත් හ. සිනහ පටලා ගත් හ. අදහස් පටලා ගත් හ.
සෝදුපත් බලද්දී අත් පටලාගත් හ.

......................................................................................................................................................…

පාරදිගේ. ඔහු ඇයට තෑගි දුන් අවසාන පොත විය.
දෙදෙනාම එක පොරෝනයක් පටලාගත් දිනෙක.

චිත්‍රපට කතා. ඇය කියවා තිබුණේම නැත.
චිත්‍රපට බැලීම හා ඇසීම හැරුණු විට.

ඇය පාරදිගේ කියෙව්වා ය. ඉතා සෙමෙන්. උගනිමින්.

ඔහ විදෙස් ගත වුණේ ය. වැඩිදුර ඉගෙනුමට.
පවුලේ ඡායාරූපයක් ෆේස්බුක් දැමී ය. මුල්වරට.

ස්වර්ණා හඬා වැටුණා ය. නවාතැන්පලෙහි වැසිකිලියට වැද.
කඩදාසි පටියක් අතින් ගෙන. රතු පැහැති ඉරි දෙකක් සටහන් වුණ.

කෑම අඩු කළා ය. ෆේස්බුක් මැසේජ් යැව්වා ය. පිලිතුරු නොලද්දා ය.
බලාගත් අත බලා සිටියා ය. හුස්ම අදිමින් හැඬුවා ය.

හඬා අවසන නැඟිට්ටා ය.

නිවාඩු දැම්මා ය. කාරණය ලෙස විවාහය සටහන් කරමින්.
ගෙදර ගියා ය. කිලෝමීටර් එකසිය අසූ නවයකට දුරින් වූ.
සතියක් හිටියා ය. ආපසු ආවා ය. විවාහයකින් තොරව.

යළි ගෙදර නොගියා ය. මාස හතක්.

................................................................................................................................................................

කුස. නෙරා ආයේ ය.
ඇය. තනිව ක්ලිනික් ගියේ ය.
සැමියා. කටාර් වල යැයි කීවා ය.
විවාහයට නිවාඩු දැමූ හෙයින් දැන්ම එන්ට වෙන්නේ නැතැයි කීවා ය. ඇසූ අයට.

සැමියා නැතත් පොඩි මල්ලී ආවේ ය.
කුස දෙස බලා සිටියේ ය. විශ්මයෙන්. අවිශ්වාසයෙන්. සැකයෙන්. තරහෙන්. දුකෙන්.
ආපසු ගියේ ය.

ස්වර්ණා. හඬා වැටුණා ය. හෝටලයක වැසිකිලියට වැද.
ඇය. හඬා වැටුණා ය. නවාතැන්පලෙහි ඇඳෙහි වැතිර.

නිදාගත්තා ය. ඇහැරුණා ය. නිදාගත්තා ය. ඇහැරුණා ය. නිදාගත්තා ය. ඇහැරුණා ය. නිදාගත්තා ය. ඇහැරුණා ය. නිදාගත්තා ය. ඇහැරුණා ය. නිදාගත්තා ය.


ඇහැරුණා ය. දුරකතනය නාද වන හඬින්.

තිරය දෙස බැළුවා ය. බිය වූවා ය. දුක් වූවා ය. සැලුණා ය.
නැඟිට ගත්තා ය. ඇඳෙන්.
දිව ගියා ය. දුරකතනයෙන් දුරට.

අඩි පාර දිගේ. කොන්ක්‍රීට් පාර දිගේ. කාපට් පාර දිගේ. කොන්ක්‍රීට් පාර දිගේ. තාර පාර දිගේ.

නැවතුණා  ය. කෝච්චි පාර මැඳ.

...........................................................................................................................................................

Amma.
දිව එමින් සිටියා ය. ඇය පසුපසින්. විලාප නඟමින්. දෙස් තියමින්. හඬමින්.
දුරකතන තිරයෙන් පැනවිත්.

CLASS M6 788.
ඇදී එමින් තිබුණේ ය. කිලෝමීටර් තුනක් දුරින්. ඒ කෝච්චි පාරේ ම. ඇගේ මුහුණ දෙසට තම අංකය හැරෙන සේ.

අම්මා. ඇය තනන්නට ගත් වෙහෙස කියවමින් සිටියා ය. ලොකු මහත් කරන්නට ගත් වෙහෙස කියවමින් සිටියා ය. කොටහලු දා සිහි කරමින් විලාප තබමින් සිටියා ය.

කෝච්චිය. නළාව පිම්ඹේ ය. වංගු දෙකක් දුරින් හිඳ.
ඇය. නතරව සිටියා ය. කෝච්චි පාර මැඳ.
අම්මා. විලාප නඟමින් සිටියා ය. ඇගේ හිසතුල. ඇයට පිටුපසින්.

ඇය. හැරුණා ය. සිතෙහි වූ අම්මාට වැන්දා ය. සිතෙන්.
ඉදිරිපස හැරුණා ය. කෝච්චියට මුහුණ පා.
ඇස් පියා ගත්තා ය.

ඊට තත්පර තිස් දෙකකට පසු.
තවමත් හරියට නොවැඩුණු පාදයක්. තම මුල්ම පා පහර එල්ල කලේ ය. තම මවගේ ගර්භාෂ බිත්තියට.
කෝච්චිය මීටර් හත්සිය හැත්තෑවක් දුරින් තිබියදී.

..........................................................................................................................................................…

ඇය.
ඇස් ඇරියා ය. කුස අත ගෑවා ය. දෙවන පහරද ලැබුවා ය.
කෝච්චි පාරෙන් ඉවතට පැන්නා ය.

No comments:

Post a Comment