Friday, February 24, 2017

:: පද්ධති විශ්ලේශණය ::

" ඔච්චර දෙන්න එපා !"
අපට දකුණු පසින් ආසන තුනක් ඉදිරියෙන් ඇවිද ආ යදියාට දෙනු වස් මා ලඟ තිබූ අවම නෝට්ටුවට වඩා වැඩි නෝට්ටුවක් අතට ගනිද්දී ඔහු පැවසී ය. මගේ වම්පසින් හිඳගෙන.

මම. ඔහු දෙස බැලී මි.

"පිනට දුන්නට කමක් නෑ. හැබැයි ඔය මනුස්සයට ඔච්චර දෙන්න එපා. "
ඔහු පිලිවදන් දුන්නේ ය. මගේ ප්‍රශ්නාර්ථ බැල්මට. සිනාසෙන දෙනෙතකින්. අඩු ස්වරයෙන්. ස්ථිරසාරව. මඳ විධානයකින් යුතු ව.

මම. වහා අතේ තිබූ නෝට්ටුව මාරු කලෙ මි. ඊට වඩා අඩු අගයකට. යදියාට දුන්නෙ මි.

යදියා. බැස ගියේ ය.

අපි. විනාඩි තුන හමාරක් නිහඬව සිටියෙමු. එකිනෙකා දෙසට හැරුණෙ මු. කථාව ඇරඹී මු. එකවිට.

මම. ඔහුට ඉඩදී කථාව නැවතූයෙ මි. ඇරඹූ තැනම.

ඔහු. බාධාවකින් තොරව කථා කරගෙන ගියේ ය. ඇරඹූ ලෙසින්ම.
" මනුස්සය හොරෙක් වංචාකාරයෙක් නෙවෙයි. හැබැයි මිනිහට වැඩිපුර සල්ලි එකතුවුණොත් ඒකෙන් බොනවා. ඉතිං බොන්න ගියාම ගෙදර යන්න පරක්කු වෙනවා. එහෙම දවසට අර කියපු ඇස් පේන්නැති අම්මටයි ඉස්කෝලෙ යන නංගිට යි කෑම පරක්කු වෙනවා"

" අහ්! සමාවෙන්න ...!"
ඔහු.
කථාව නැවැත්වී ය. එකවනම.
යළි ඇරඹී ය. තමා කවුදැයි හඳුන්වා දුන්නේ  ය.
මගේ නම කීමට අවකාශ ලබා දුන්නේ ය. රැකියාව අසා දැන ගත්තේ ය.
ජනේලයෙන් ඉවත බලා ගත්තේ ය. පසුවී යන  අහස දෙසට. සිනාසෙන දෙනෙතින් ම.


ආපසු හැරුණේ ය. ටික වේලාවකින්.  
" වළාකුළු යි  හුළඟ යි කුරුල්ලොයි හැසිරෙණ විදිහට අද හවස් වෙද්දි වහියි"

මම.
අහස බැලීමි. වළාකුළු කිහිපයක් දැරූ. ලා අළු පැහැති.
සුළඟ සෙවීමි. ගස් අතු අතරින් හමායන. මඳ වේගයකින්.
කුරුල්ලන් දිටිමි. ඔහේ පියාඹන. වෙනසක් නැතිවම.

" එහෙම බැහැ. වෙන වෙනම නෙවෙයි. වළාකුළු යි හුළඟ යි කුරුල්ලොයි එකට බලන්න ඕන. ඒ අය එක එක්කෙනාට ප්‍රතිචාර දක්වන විදිහ"
ඔහු පැවසී ය. මගේ දර්ශන පථයට වචන දමා ගසමින්.

අනතුරුව. පාදා ගත් ඉඩ හරහා තව තවත් වචන එවන්නට වූයේ ය.
" ඒක හරියට දර්ශක  කීපයක් තියෙන පද්ධතියක්  දිහා බලා ඉන්නවා වගේ  වැඩක්. එක එකකින් ලැබෙන්නෙ වෙනස් පරාමිතීන්. හැබැයි ඒ හැම එකක්ම පද්ධතිය පිලිබඳ ප්‍රතිදානයක් වෙනවා. ඒ ඔක්කොම එකට ගත්තොත් තමයි හරියටම පද්ධතිය පිළිබඳ ව අදහසක් ගන්න පුළුවන් වෙන්නෙ"

මම දරාගන්නට උත්සාහ දරමින් සිටියෙමි.  බසයේ වේගයත්. ශබ්ද විකාශනයේ හඬත්. පසුකර යන අහසත්. ඔහුගේ වචනත්.

ඔහු.  කථාව නැවැත්වී ය. එකවරම. මගේ අපහසුව දැනීමෙන් දෝ.
" සමාවෙන්න. මෙතන මෙහෙම දේවල් කථා කරන්න පුළුවන් තැනක් නෙවෙයි නේද?"
හිනැහුණේ ය. කල්පනාවට වැටුණේ ය.

විනාඩි. තුන්කාලක් ගෙවී ගියේ ය.

" මෙහෙම කරමු. මං බහින්නෙත් ඔයා බහින තැනින්ම යි. තාම රෑ වෙලානැති නිසා රෙස්ටොරන්ට් වල සෙනඟත් නැහැ. පැය බාගයක් පරක්කුවෙලා ගෙදර යමු"


මම. තුෂ්නිම්භුතව සිටියෙමි.  මඳ වේලාවක්.
එකඟතාවය පලකරමින් හිස වැනීමි. සිනා පිරි මුවින්. සුරා ලෝලයෙන් ද කුතුහලයෙන් ද පෙලඹෙමින්.

නැවතුම් හතරකට පසු.
අපි ඇවිද යමින් සිටියෙමු.
මා ඔහුගේ පසෙකින්. සුරා ලෝලයෙන් ද කුතුහලයෙන් ද පෙලඹෙමින්. මටම දොස් පවරාගනිමින්. පින් අඩි ගසන්නෙකුට හසු විනැ යි සිතමින්.

ඇණවුම් කලේ ඔහු ය. සියල්ල මා නිතර ඇණවුම් කරන  දෑ ය. කටගැස්ම පවා. මෘදුකාරකය පමණක් වර්ග දෙකකින්.

ඔහු. නැවැත්වූ තැනින් කථාව ඇරඹී ය. ආටෝප සාටෝප නැතිවම.
" මෙහෙම හිතන්න. දැන් මේ විදුලි බුබුල ගත්තොත්. ඒක එළිය දෙනවා. ඒ තමයි ප්‍රතිදානය. මේ ප්‍රතිදානය හරියට විශ්ලේශණය කලොත් අපිට පුළුවන් ඒ ප්‍රතිදානයට හේතු වුණ ආදානයන් ගැන
සෑහෙන විස්තර ගොඩක් හොයාගන්න. ඒක විදුලි බුබුල ඇතුලෙ තියෙන සූත්‍රිකාවේ ඉඳන් ඒ හරහා ගලන විදුලිය නිපදවන්න හේතුවුණ ශක්ති ප්‍රභවය දක්වා විශාල පරාසයක පැතිරුණු දේවල් ගැන අදහසක් ලබා දෙනවා"

මම. ආකර්ශණය වෙමින් සිටියෙ මි.
ඔහු. වීදුරු පිරෙව්වේ ය.
අපි. මුල් වඩිය බීවෙමු. එකවර. එකවිට.

"තවත් උදාහරනයක් විදිහට කියනවා නම් වර්ණාවලි විශ්ලේශණය මඟින් අදාල සංයෝගය හඳුනාගැනීම කියන්නෙත් මේ විදිහෙම දෙයක්. "

" අපිට මේ දේවල් මෙහෙමම යොදාගන්න පුළුවන් අවට පරිසරය හෝ මිනිසුන් විශ්ලේෂණය කරන්නත්. නමුත් එතැනදී මතුවන ලොකුම ගැටළුව තමයි අපට විශාල පරාසයක විහිදුණු ප්‍රතිදානයන් රාශියක් එක්වර ලැබීම හා ඒවා අතර අන්තර් සම්බන්ධයන් වඩා සංකීර්ණ ඒවා වීම. "

" ඔබට මේ දේවල් මොනතරම් දුරට ග්‍රහණය කරගත හැකිවේද කියන දේ මත ඔබේ නිගමනයන් වෙනස් වනවා.
ඔබට මතක ඇති හවස වහින බවට මා කියූවත් ඔබට වැහි ලකුණක් හෝ සොයාගත නොහැකි වූ බව. ඒ අප එකිනෙකාගේ නිරීක්ෂණ හා විශ්ලේෂණ ශක්‍යතාවයන් නිසා සිදුවන්නක් "

එතැනින් මට ද ඉඩක් ලැබිණි. කථාකිරීමට.
" ඒත් තාම වැස්සෙ නෑනෙ"

ඔහු.මඳ සිනා පෑවේ ය. සුපුරුදු ලෙසම.
මුවින් වදන් හසුරුවමින් වීදුරුව මා දෙසට එවී ය. අතින්.
" තාම හවස ඉවර නෑනෙ ! "

අත පිසදැමීමට තිබූ කොලයක් දිග හැරියේ ය. අඩක්. හිස එසවී ය.
" පෑනක් තියෙනව ද ? "

මම.  බෑගයට අත දමා පෑනක් සෙවීමි. අතට හසුවූ පෑන ඔහු වෙතපෑවෙමි.

" න්‍යාස මතකයි නේ ද? මැට්රික්ස් ? "

මම හිස සැලීමි. මතක බව අඟවමින්.

"  ඕනෑම පද්ධතියක ආදානයන් හා ප්‍රතිදානයන් අතර සම්බන්ධය අපට න්‍යාස ආකාරයෙන් දක්වන්න පුළුවන්. එහි ආදානයන් ප්‍රතිදානයන් හා ඒවා අතර අන්තර්සම්බන්ධතා යොදාගෙන.
එවිට ඔබට ලැබෙන්නේ  ප්‍රදානයන් හා ඒවා අතර අන්තර් සම්බන්ධතාවයන්ගෙනුත් ප්‍රතිදානයන් හා ඒවා අතර අන්තර් සම්බන්ධතාවයන්ගෙනුත් යුක්ත න්‍යාස දෙකක්. මේ දෙක සර්ව සමයි. "

මට වීදුරුවේ තුන්කාලක්ම පෙවුණෙේ ය. එක හුස්මට.
ඔහු කොලය මත න්‍යාස දෙකක් ඇඳ තිබුණෙේ ය. සඟල වරහන් වලින් වසා. ආදානයන් ප්‍රතිදානයන් හා සම්බන්ධතාවයන් විචල්‍යය ලෙස ගෙන.

 " මේක තව පැහැදිලි කරන්න පුළුවන් මෙහෙම. අර බස් එකට නැඟපු මනුස්සය හිටිය නේද ? මිනිහගෙ ඇස්, කටහඬ, වචන උච්චාරණය, අංග චලනයන් මේ හැම දෙයක්ම ප්‍රතිදානයක් හෝ ප්‍රතිදාන රැසක එකතුවක්. ඒ දෙවල් නිරීක්ෂණය කරන්න තරම් ඔබ දියුණුයි නම් විශ්ලේශනය කරන්න තරම් සිත නිරවුල් නම් ඔබට පුළුවනි මේ සම්පූර්ණ න්‍යාසය විසඳන්න. ඔහු ගැන දැන ගන්න. "

එතැන් සිට. ප්‍රශ්න හා පිලිතුරු වටය ඇරඹිණි.
" ඉතින් ඔයාට ඒවා දැනෙන්නේ කොහොම ද? ඔයා රහත් වෙලා ද? "
" ඇතැමුන්ට පොත් කියවන්න කණ්නාඩි අවශ්‍යය යි. ඒ ඇස් දුර්වල වූ විට. ඔබේ ඉන්ද්‍රියයන් දියුණුයි නම් ඔබට උපකරණ වල සහායක් නැතිව බොහෝ දෑ සංවේදනය කල හැකි යි.
ඇන්ටනාවක් නියමිත දිශාවට හරවා නිසි පරිදි සුසර කර ඇත්නම් එයට බොහෝ නිවැරදි  සංඥාවන් ග්‍රහණය කල හැකියි. ඔබේ ඉන්ද්‍රියයන් නිසි පරිදි සහුරුවන්නේ නම් ඔබට බොහෝ තියුණු ආදානයන් ලබාගත හැකියි.
අරමුණටම අරමුණු කරගත් සිතකින් වඩා සාර්ථක හා සංකීර්ණ විශ්ලේශණයන් කල හැකියි. "



එවර. මම ම මාගේ වීදුරුව පුරවා ගතිමි. උගුරු දෙකටඅවසන් කලෙමි.

පෙට්‍රෝලියම් දැල්ල හා එය දැවෙන විට පිටවන ආලෝකයේත් උෂ්ණත්වයේත් සම්බන්ධයේ සිට චුති සිත් පූර්ව භවයන් නේවසඤ්ඤා නාසඤ්ඤායතනයන් හරහා ගලා ගිය කථාව අපට අතර මැදදී නවත්වන්නට  සිදුවිය. අවන්හල් බිල හා මගේ මත්බව හරස් වූ හෙයින්.

අපි. පාරට ආවෙමු.

මම අවසන් ප්‍රශ්නය ඇසී මි. වෙන්ව යෑමට පෙර. බිවූ සුරාවෙන් ද ඇසූ වදනින් ද බමන හිසින් ද යුතු ව.
" කොහොමද දැනගත්තෙ අපි දෙන්නම බහින්නෙ එකම තැනින් කියලා."

"ආ ඒක ද? ඒක සරලයි.
ඔයා ටිකට් එක ගන්නකොට බහින තැන කියනවා මට ඇහුණා "

අහස. විදුලි කෙටුමකට ඉඩ දුන්නේ  ය.  සිහින් ගෙරවුමක් ද ඉවසමින්.


*******************************************************************************
දර්ශක : Indicators
පද්ධතිය : System
පරාමිතීන් : Parmeters
ආදානය : Input
ප්‍රතිදානය : Output
විදුලි බුබුල : Electric Bulb
සූත්‍රිකාව : Filament
ශක්ති ප්‍රභවය : Energy Source
වර්ණාවලි විශ්ලේශණය : Spectrum Analysis
න්‍යාස : Matrix
විචල්‍යය : Variables

1 comment: