Thursday, December 26, 2013

:: සුනාමි මතක ::












සිඳු පතුල සැඟව ගිය
වැලි අතර පැතිර ගිය
රළ මතින් නැඟී එන
අඳෝනා මැකී නැත

කටු කම්බි ඇණී ගිය
මුල් වැදී ඉරී ගිය
දුවද්දී තැලී ගිය
සිත් තවම ඔද්දල්ය

එකුන් දස වස වුවද
අද මෙන්ම මතක ඇත
ගිය උන්ද හිඳි උන්ද
තලා ලූ මහ දියඹ

පහන් පූජා නැතිය
සෙත් කවිත් අද නැතිය
කාලයේ සුනාමිය
වසා ඇත ඒ මතක

මුල් කඩා වීසි කොට
පැතුම් මත රෝපිත
ටකරමින් සෙවණ ලද
පාවෙනා ජීවිත

ගිය උන්ද හිඳි උන්ද
දයාවෙන් සිහි කරමි
දසවසක් වෙද්දිවත්
නිදුක් වේ වැයි පතමි.

Saturday, December 7, 2013

:: ඒ බරැති සිහිල් පුර ::














මට සිලිටු මහවැලිය
වරදකාරී විරහවක් ගෙන
නෙත් කෙවෙනි තදකරන

මහ විසල් හන්තාන
ආඩම්බර සැහැල්ලුවෙන්
කෙස් අගිස් අවුස්සන

නාය ගිය පැණිදෙනිය
වැටුණු ගල් කුලෙක හිඳ
තෙලොව දිනනට අසන

මහා ලොකු මහනුවර
තෙතැති බර හුස්මකින්
හදෙහි පිටු කළු මදින

Thursday, October 17, 2013

:: දළඹු ::












ගෑවුණත් හිත කසන
පලු දමා හද තවන
සිතිවිලිම කා වැඩෙන
දළඹුවන් වැනිමය
දිස්න දෙන මතකයන්

කෝෂයක මන රකින
සමනලෙකු වේ යැයි
මිරිගුවෙක සුව සදන
දළඹුවන් වැනිමය
දිස්න දෙන මතකයන්



Sunday, September 29, 2013

:: පරණ මරණ ::

මැරුණයැයි හිතුවට
හිත ගල් ගැහුණම
එහෙමටත් මැරෙන්නෑ
ලොකු හිතක් ඇති අය

ඉස්පිරිත්තු වලින් නොව
එකම එක බැල්මකට
දියවෙලා වැගිරේවි
ආයෙමත් ඔය හිත

Thursday, September 26, 2013

:: ආදරණීය ඉරිසියාව ::

දුවෙක් ගැන වුවත්
ඉරිසියා නොහිතේද

ඇඳ විට්ටමක එල්ලී
මේ කොනෙන් ඒ කොනට
දුවන්නට හැකි කොට

මහා සෙනගක් මැද
ඊටත් වඩා හයියෙන්
කෑගාන්නට හැකි කොට

කුරුල්ලන් මතුනොව
හරකුන් සමඟින්ද
දොඩන්නට හැකි කොට

හිතෙන හැමවිටකම
ආයාසයක් නැතිවම
සැම හිනස්සනු හැකි කොට

මට නොහැකි මා කැමති
සියල් දේ විසල් ලෙද
රිසි විලස විඳින විට

Monday, September 9, 2013

:: අහඹු ::



හිරි පිපෙන සිහිලසක්
කිති කවන උණුහුමක්
සමනල් පැහැ මියැසියක්
වෙන කවුරු මවන්නද ..?

දත් කැවෙන කෝලයක්
මිට මෙලෙන ආශයක්
නෙතු පුරන හීනයක්
වෙන කොතැන තියෙන්නද ..?

බිලිඳු නෙතු යුගකුත්
බිය වැදුණු පෙමකුත්
සෙනෙහෙබර පොතකුත්
එකම තැන  පිපුණු කල....!

Sunday, August 25, 2013

ඔවුහු....!


 
 
 
 
 
 
 
නොහඬව
ශෝක නොකරව
ස්ත්‍රී වර්ගයා එසේමය

සැනෙන් තුටුවෙති
දමා පැනයති
යලිත් දිව එති

අඩුම තරමින්
හාද්දක වගක්වත්
කියා දිව යති

ශේෂ දුකකුත්
මහා මෙරක් කොට
දොඩා ලියවති

Friday, August 2, 2013

ඔබේ කවුරුත් නොවුණු පවට....!
















හාංදුනේ අපි..!
කර මතින්ම ඉහලාගෙන
උදේ රැයින් ගහපු කතිර
ලක්ස ගණන් දීපු වගට
කෙලෙහිගුණේ ඇති කියලයි
දවස් ගණන් මාස ගණන්
මේ ගිනි දිය බිබී උන්නෙ
හාවක් හූවක් නැතිවම

සමාවෙන්න ගැත්තන් හට
දෙවියන් වග සිහි නොවුණට
කාසි මිසක වෙන පඬුරක්
නැතිව දැකුම් ඉල්ලුවාට
දේව අණින් තැනුන දෙයම
නසනැයි යුක්තිය පැතුවට

හාංදුනේ අපි..!
සිහි කෙරුවේ ඔබ මහිමය
ඇඟ දාගෙන ගලන වතුර
අසාධාරණැයි සිතමින
යුක්තියටම කැපවුණ ඔබ
කැමරාගෙන පෑනුත් ගෙන
අපේ පසින් හිඳ ගනිතැයි

සමාවෙන්න ගැත්තන් හට
වරුගාණක් පැයගානක්
එයාටයිම් වෙන්කෙරුමට
පිටු ගාණක් මුල් හෙඩිමක්
කඩදහි කොල වියදන්නට
අප වටිතැයි අප සිතුවට
අපෙ ජීවිත අපිට මිසක
වෙළදපොලක නොවටින බව
මොලගෙඩියට නොදැනුනාට

හාංදුනේ අපි..!
සාර දුකක් උහුලාගෙන
මාස ගණන් දුක්විඳගෙන
හැම තැනටම ගාටාගෙන
බැරිම තැනයි මඟට බැස්සෙ
වතුර පොදක් ඉල්ලාගෙන

සමාවෙන්න ගැත්තන් හට
සුව නින්දට මඳි වුණාට
ඩා බිඳුවක් මඟ හැලුනට
රෑ බත් ටික ඇල් වුණාට
රති කෙලියට පහු වුණාට

Saturday, July 13, 2013

නන්ද කුමාර වස්තුව ...! (1)



http://ignca.nic.in/images/jtk2/big/bjtk094a.jpg

නන්දය...!
නුඹ පෙම..
තෘෂ්ණාව මුල්කොට ගත්තේය
පෙරලා යමක් පතනේය
සුළු දෙයෙහි බඳනේය
එහිම සෝ වඩනේය
කාලයෙහි ගිලනේය

නන්දය..!
ඒ පෙම..
කුතුහලයෙන් උපනේය
ආශයෙහි වැඩුණේය
අරමුණෙක් නැතියේය
පර උයන් තෙරක වුව
ලද අවසර නැගුනේය

නන්දය ....!
නුඹ පෙම..
දකින්නට පාසුය
වඩන්නට පාසුය
බිඳින්නට පාසුය
යලි තනන්නද
එතරම්ම පාසුය

නන්දය ...!
ඒ පෙම..
මසැස පිනවාය
විටෙක හඬවාය
මනස රවටාය
වලෙක ලූ කලක මෙන්
මංමුලා කොට යාය


නන්දය ..!
නුඹ පෙම..
අරමුණම අරමුණු කොට
නසා සුන් කටයුතුය

ඉඳින්.....!

බලව අර දෙව්දුව
වැඳිරියක අත දරන

Tuesday, February 5, 2013

:: සාරුවා (වගේ දේවල්) - 02 ::












අනේ දෙවියනේ මට වුණ වියෝයා
අම්මා නැති දුවත් මරු අ‍රගෙන ගියෝයා
රුහුණු දනට ඈ අබිසරු ලියෝයා
කරවූ එවුන් දෙවිවරු රජ කුලේයා

අඳුරෙයි උන්නෙ මානාගෙන තුවක්කුව
මුන්මයි දුන්නෙ රණවිරු යැයි සබුක්කුව
ගිනිලෑමට යවා  රැකුමට මිනිස් බව
ගිනි ලූයේය මගෙ පැල මුන් රැලම

රටේ රජිදාය මුන් හා පැණි කාය
ජනී ජනයාය මුන්ගෙන් කටු කාය
අතෙකින් තුවක්කුව අතෙකින් ඡන්දයය
නොමැරී මැරෙමි නිවහල් දේශයක....!

ප.ලි.: ශෝකයෙන්, තරහෙන් හා පිලිකුලෙන් ලියන ලදී.
http://www.gossip9.com/2013/02/blog-post_1747.html

Wednesday, January 23, 2013

:: දෝ(මි)ණි ::






දනිමි දැන්....
ප්‍රේමයක් ඇති බව
සඳ එළිය සේම පිවිතුරු
සෙනෙහසක් ඇති බව
එතරම්ම මහරු

දකිමි මම්
දෙවඟනක් මිහිපිට...
පෙර මතක හකුලා
පරසක්වලෙහි ලන
නේක මුදු තෙපුලුන්
විසුළුබස් කරවන
එදා රූ සොඳුරන්
වැඳිරි වෙස් ගන්වන


විඳිමි මම්
ප්‍රේමයක් දෙව්මය....
කටහඬට දිලෙනා
නෙත් දෙකක් අබියස
පපුතුරේ සැඟවෙනා
හිමිකමක් උරුමව
සුසුමටත් සැලෙනා
හදවතක වහලකුව

Monday, January 14, 2013

:: රතු සහ කළු ::


 










ලක්මිණි.
කාක නිල්පැහැ නෙත් යොමා ඉදිරිපස කාමරය දෙස බැලුවාය. අන් අයට නොදැනෙනසේ.
දොර. වසා තිබිණි.
දොරට ඉදිරියෙන්. සෝපාවක් විණි. ආනයනය කරන ලද.
සෝපාව මත. කිසිවක් නොතිබුණේය. කිසිවෙක් නොසිටියේය.

ලක්මිණි.
සිය මේස ලාච්චුවෙහි වූ තුවාය ගත්තාය. සුදු පැහැ. අඩි එකහමාරක් දිග. අඟල් දහඅටක් පලල.
නැගිට්ටාය. ලැසිගමනින් ඇවිද ගියාය. සේදුම් කාමරය වෙත. බිත්ති කොනක වූ කැමරාවට පිටුපා.

ලක්මිණි.
සේදුම් කාමරය මැද සිටගෙන සිටියාය. දිග කණ්නාඩියෙන් සිය රුව බලමින්. පිටෙහි එතී ගිය රතු පැහැ බ්ලව්සය සකසමින්. ඉන්පසු. වටොර මත රැළි වැටුණු කළු පැහැ කලිසම නිවැරදි කරමින්.
අනතුරුව.
මුහුණ සේදුවාය. තුවායෙන් ලැම වසාගෙන. වතුර වැටෙතැයි බියෙන්.
මුහුණ පිස ගත්තාය. ඉදිරියට නවාගෙන. දියබිඳු බිමට වැටෙන සේ.
තොල් ආලේපන ගැල්වූවාය. රතු පැහැ කූරක් කලිසම් සාක්කුවෙන් ගෙන. තොල් ගිලගත්තාය. ආලේපය සමව පැතිරෙන සේ.
දුඹුරු පැහැ පැන්සලක් ගත්තාය. කළු පැහැ තුඩක් ඇති. දෙතොල මායිම් ලකුණු කලාය.
යලිත් කණ්නාඩියෙන් සිරුර බැලුවාය. මුහුණ බැලුවාය. අවුල්ව ගිය කෙස් සකසාගත්තාය.

ලක්මිණි.
සේදුම් කාමරයේ දොර හැරියාය. ලැසිගමනින් ඇවිද ආවාය. තම අසුන වෙත. බිත්තියෙහි වූ කැමරාවට මුහුණ ලා.

*******************************************************************************
දොර.
විවර වූයේය. කාමරය තුලවූ අමුත්තන් පිටවූයෝය.

ලක්මිණි.
තමා කලින් සකසාතබාගත් ලිපි ගොනුව අතට ගත්තාය. ඉක්මන් ගමනින් කාමරය වෙත ගියාය. ඊට පිටින් නැවතුණාය. සෝපාවෙහි හිඳගත්තාය. ඉදිරිපසින් වූ කැමරාවට ඉදිරියෙන්.
ලිපිගොණුව. ඉදිරියෙන් වූ කෙටි මේසය මත තැබුවාය. කැමරාව දෙස හොරැහින් බැලුවාය.
කළු පැහැති කලිසම සැකසුවාය. තත්පර පහලවක්.
රතු පැහැති බ්ලව්සය සැකසුවාය. තත්පර හතලිස්පහක්.
නැගිට්ටාය. දොර වෙත ගියාය. තෙවරක් තට්ටු කලාය. මැදඟිල්ලෙහි දෙවෙනි පුරුකින්.

බොස්.
දකුණු පස වූ පරිගණක තිරයෙන් ඇස් ඉවතට ගත්තේය. ඉදිරිපස වූ ලැප්ටොප් පරිගණකය කරකැවීය. දකුණට. අංශක අනූවක්. ඉන්පසු තල්ලු කලේය. දකුණටම. අඩි එක හමාරක්.
අනතුරුව.
හිස එසවීය. තරමක් බැරෑරුම් මුහුණක් හදා ගත්තේය.
“ කම් ඉන්“ යැයි හඬ නැඟීය.

**********************************************************************************

ලක්මිණි.
දොර විවර කලාය. ඇතුලට ආවාය. ආපසු හැරුණාය. දොර අගුල් දැමුවාය.
සිනාසීගෙන බොස් දෙස හැරුණාය.

බොස්.
“ වාව්...! රෙඩ් ඇන් බ්ලැක් ලේඩි...! වට් අ නයිස් සිලෙක්ෂන්...!“ කීවේ නැත.
“ යර්ස් ලක්මිණි.....! වට් ඊස් ද මැටර්...?“ යැයි ඇසීය.
වෙනසක් නැතිවම. රාජකාරි ස්වරයෙන්ම. වෙනත් සේවකයකුට කථා කරන්නාක් මෙන්ම.


ලක්මිණි.
තරමක් පසුබා ගියාය. පැකිළුණාය. වික්ෂිප්තව මෙන් බොස් දෙස බැළුවාය.

“ ෂෝ මී ද ෆයිල් ....?“
බොස්.  ලක්මිණි අපහසුතාවයෙන් බේරා ගත්තේය.

ලක්මිණි.
සිය අතෙහි වූ ලිපි ගොනුව බොස් වෙත පෑවාය.

බොස්.
ලිපිගොණුව පෙරලීය. හිස් පිටුවක් ලඟ නැවතුණේය. හරහට ඉරි හතරක්ද, දිගට ඉරි තුනක්ද ඇන්දේය. ඒවා එකිනෙක යා කලේය. සිග් සැග් රටාවකින්.
“ කරෙක්ට් දෙම් ඇන්ඩ් බ්‍රින්ග් මි බැක්....!“
වෙනසක් නැතිවම. රාජකාරි ස්වරයෙන්ම. වෙනත් සේවකයකුට කථා කරන්නාක් මෙන්ම.

ලක්මිණි.
ලිපිගොණුව ගත්තාය. ආපසු හැරුණාය. දොරෙහි අඟුල් හැරියාය. දොර හැරියාය. කාමරයෙන් එලියට ආවාය.
ඉක්මන් ගමනින් තම මේසය වෙත ආවාය.
තනිව දොඩමින්. මුහුණ කළුව. නෙත් රතුව.

********************************************************************************
බොස්.
පරිගණකය තමා වෙතට ඇද ගත්තේය. අංශක අනූවක් කැරකීය. වමට.
තිරයට උඩින්වූ කැමරාවට එබුණේය.
“ දැන්වත් විශ්වාසද එක එකා කියන කථා බොරු කියලා.....!“

බොස්.
පරිගණකය වසා දැමීය.
දුරකථනය අතට ගත්තේය. රිසීවරය කනෙහි තබාගත්තේය. අංක තුනක් එබීය.
කටහඬ අවදි කලේය. අනෙක් පසින් ප්‍රතිචාර ලැබෙත්ම.

“ වාව්...! රෙඩ් ඇන් බ්ලැක් ලේඩි...! වට් අ නයිස් සිලෙක්ෂන්...!“