Wednesday, July 25, 2012

:: වචන ::

සායනික මනෝ චිකිත්සාව. දොස්තර අචින්ත අනුරාධ ගේ විශේෂඥ විෂය පථය එය විය.
මනෝ වෛද්‍ය සායනය. ඝනක හා ඝනකාභ හැඩැති අවකාශයන්ගෙන් යුත් රෝහලෙහි දකුණුපස පිහිටා තිබිණි. මඳක් බටහිරට බරව.

රොහාන් සතරසිංහ. සායනයෙහි නැගෙනහිරට වන්නට වූ කාමරයෙහි පුටුවක හිඳගෙන සිටියේය. දොස්තර අනුරාධට මුහුණලා. දොරට පිටුපා. මඳක් මුරණ්ඩුව.

රොහාන්ගේ නෑසියන්. සමීපතමයන් දෙදෙනෙකු හා දුර නෑකමක් ඇත්තෙකු කාමරයට පිටින් නතරව සිටියෝය. දෙකන් කාමරය දෙසටම යොමාගෙන.

*******************************************************************************

විනාඩි විසි නවය හමාරකුත්, කුරුටු ගෑ කොල හතරකුත්, කැඩී ගිය පෑන් දෙකකුත් අවසන දොස්තර අනුරාධ රොහාන් හා කථා කරමින් සිටියේය.  වඩ වඩා විශ්වාසයෙන්. තවතවත් සුහද වෙමින්.

“ ඩොක්ටර් හිතන්නෙ ජනපද කල්‍යාණිට නව දැලි හේනක වැඳිරි රුව වගේ වචන පාවිච්චි කරපු එක හරි කියලද? “

“ හරි ! රොහාන් කැමතිම වචනෙ මොකක්ද?“

රොහාන්. මඳක් කල්පනා කලේය. අවිනිශ්චිතව ඇඟිලි කොනක් සැපීය. අනතුරුව හඬ අවදි කලේය.

“ අනේ මන්ද ඩොක්ටර්...! පුංචිම කාලෙ නං අම්ම....! ඊට පස්සෙ හොඳ ළමයා....! එතනින් පස්සෙ පළවෙනියා.......! ශිෂ්‍යත්වෙ..........! ඒ දහය..........! ඒ තුන.....! බැච් ටොප්....!.....රස්සාවක්...!. “

“ එතකොට දැන් ...? “

කියවිල්ල. රොහාන් තම කියවිල්ල නැවැත්වීය. පුටුවෙහි හරිබරි ගැහුණේය. දොස්තර දෙස එක එල්ලේ බැලීය.

“  බ ම් බු ව...! “

1 comment: