Wednesday, July 11, 2012

::වැහි උණ්ඩ::

වැස්ස. තරමක් තදින් වැටෙමින් තිබිණි. අංශක තිස් තුන හමාරක් ඇලයට.
මිලි මීටර් දෙකත් තුනත් අතර අරයෙන්.

ඇය. ලයෙහි තුවාලයක් සහිතව. පොලවට අඩි තිස් හයක් පමණ ඉහලින්. මගේ ප්‍රේමාලාපයන් අසමින්. මා ඇකයමත මියයමින් හුන්නාය.
********************************************************

සියල්ල ඇරඹුනේ ඇය සඳළුතලය වෙත නික්ම ගිය පසුය.
නැත. සඳළුතලයෙහි වූ සියල්ල ඇරඹුණේ ඇය ඒ වෙත ගිය පසුය.

පාද. මම මගේ අඩි ශබ්දය ඇයට හැඟෙන තරම් තදින් පාද තබමින් ඈ පසුපස ගියෙමි.

ඇය. කන් දුන්නාය. මඳක් සලිතව නිසලව ගියාය.

මම. ඇය කෙලින් පසු පසින් සිට ගතිමි.

“ මං හිතුවෙ සෙනඟ නිසා කම්මැලි වෙන්නෙ මං විතරයි කියලා“
ඇය කඳුවැටිය දෙසම බලාගෙන දෙඩීය.

“ මං ආවෙ කම්මැලිකමට නෙවෙයි“
“එහෙනං?“
“ඔයා නිසා!“
“මගෙ මොකක් නිසාද?“
“ ඇඳුම නිසාවත්, හැඩ ඇඟ නිසාවත්, පුංචි තොල් නිසාවත්, දිග බෙල්ල නිසාවත් නෙවෙයි!“
“එහෙනං?“
“ඔයාගෙ ඇස් නිසා, ඇස් වල තියෙන දේ නිසා“

ඇය මදෙසට හැරුණාය. ඇගේ දෙනෙත්. කොල පැහැයෙන් දැල්වී නිවී ගියෝය.

“මගේ ඇස් වල මොනවද තියෙන්නෙ?“

වචන. මා මුවින් පිට නොකලෙමි. ඒ ඇවිලී නිවී යන කොල පැහැ දීප්තිය දෙසම ආශක්තව බලා සිටියෙමි.

පහ. ඇගේ දෙනෙත් පස්වරක් දැල්වුණු තැන අප එකිනෙකා සිප ගනිමින් සිටියෙමු.
එකිනෙකාට තදව. වැසි බින්දුවකටවත් ඉඩ නොදී.

මම. ඇයට පෙම්කරන බව කනට කෙදිරීමි. දකුණු අත නිදහස් කොට ගතිමි.
ඇගේ කොපුලත වැහි බින්දුවක් ලවනතින් උරාගතිමි.
වම්පස ඉණෙහි වූ පිස්තෝලය ගතිමි. නිදහස් වූ දකුණතින්.
ඇගේ වම් පියොවුර ස්නේහයෙන් පිරි මැදීමි. ඇය වැලඳගත් වම් අතින්.
පිස්තෝලය තැබීමි. වම් අතට යටින්.

වැසි බින්දුවක්. ඇගේ කොපුලෙන් පෙරීවිත් මගේ දකුණත දිගේ ගලාගියේය.

සයිලන්සරය. පිස්තෝලයට හඬක් නැඟීමට ඉඩක් නොතැබීය.

/////ආශ්‍රය: SinCity : The customer is always right////



..................................................................................................................................


No comments:

Post a Comment